Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 51 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Advanced Level (A/L) Sinhala (උසස් පෙළ සිංහල)

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ශූරීන්
Sinhala (උසස් පෙළ සිංහල)
Thursday, 04 November 2010 15:22

මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර ශූරීන්

ediriweera sarachchandra

 

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ දේශීය නාට්‍ය කලාවේ මහා පුරුෂයාණෝ වූහ. සිංහල විචාර කලාවෙහි මංපෙත් හෙළි කොට දිශා උද්දේශනය කළ ඔහු දාර්ශනිකයකු, චින්තකයකු, නිර්මාණකරුවකු, සරසවි ඇදුරකු ලෙස නව විද්වත් පරපුරකට මාර්ගෝපදේශකත්වය සැපයූ බැව් නොරහසකි.

1914 ජුනි 3 වැනිදා රත්ගම, දොඩන්දූවේ උපත ලැබූ වැදිතන්තිරිගේ එදිරිවීර සරච්චන්ද්‍ර, කොළඹ විශ්වවිද්‍යාලයෙන් සංස්කෘත, පාලි, සිංහල ගෞරව උපාධිය ලැබුවේ ය. ශා. පීතර විදුහලේ සිංහල ගුරුවරයකු වශයෙන් ද ලේක්හවුස් ආයතනයේ පරිපාලන අංශයේ ද කලක් ක්‍රියා කළ එතුමෝ භාරතයේ ශාන්ති නිකේතනයට ඇතුළත් ව භාරතීය දර්ශනය හා සිතාර් වාදනය හැදෑරූහ.

කලක් ගල්කිස්ස ශා. තෝමස් විද්‍යාලයේ සිංහල ගුරුවරයා වූයේ සරච්චන්ද්‍රයන් ය. 1944 ලන්ඩන් (බාහිර) ශාස්ත්‍රපති උපාධිය ද (M.A - භාරතීය දර්ශනය) 1949 ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් බටහිර දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද (M.A) භවාංග චිත්තය පිළිබඳ පර්යේෂණ නිබන්ධයක් ලියා ආචාර්ය උපාධියද ලැබූ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයන අංශයේ ආචාර්ය ධුරයක් ලැබුවේ ය.

1952 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ආචාර්ය ධුරයක් ලැබූ එතුමෝ රොක් ෆෙලර් ශිෂ්‍යත්වයක් ලැබ විවිධ රටවල නාට්‍ය කලාව හැදෑරූහ. ඇමරිකාවේ ඩෙනිසන් විශ්වවිද්‍යාලයේ ආගන්තුක මහාචාර්යවරයකු ලෙස ද ඔහු ක්‍රියා කළේ ය.

යාපනයේ විශ්වවිද්‍යාලයෙන් හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් D.Lit සම්මාන උපාධි ලැබූ සරච්චන්ද්‍රයෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මාන මහාචාර්යවරයා ලෙස පත් වූහ. භාරත දේශයෙන් කුමාරන් ආශාන් විශ්ව සම්මානයෙන්ද පිලිපීනයේ රැමෝන් මැග්සේසයි සම්මානයෙන් ද පිදුම් ලැබූ ඔහු ‘මනමේ’ (1956), සිංහබාහු (1961) යන දෘශ්‍ය කාව්‍ය ඔස්සේ දේශීය නාට්‍ය කලාවේ මංපෙත් හෙළි කර දුන්නේ ය.

මළගිය ඇත්තෝ (1959), මළවුන්ගේ අවුරුදු දා (1965) වැනි කාව්‍යාත්මක නවකතාද MODERN SINHALESE FICTION (1943), සාහිත්‍ය විද්‍යාව (1949), සිංහල නවකතා ඉතිහාසය හා විචාරය (1951), කල්පනා ලෝකය (1958), සිංහල ගැමි නාටකය (1968), ධර්මිෂ්ඨ සමාජය (1982) වැනි විචාර ග්‍රන්ථද රචනා කරමින් සරච්චන්ද්‍රයෝ නිර්මාණකරණයෙහි මතු නොව සිංහල විචාර මඟෙහිද නිම් වළලු පෘථුල කළහ.

ගුවන් විදුලි නාට්‍ය කලාවට ද ඔහුගෙන් ඉටුවූ මෙහෙවර අමරණීය වේ. සදානුස්මරණීය නාමයක් ශේෂ කොට 1996 අගෝස්තු 16 වැනිදා මහැදුරු සරච්චන්ද්‍ර කායිකව අපගෙන් සදහට ම සමු ගත්තේ ය.


~ ~ ~ ~ ~


උපුටා ගැනීම 2009.09.20 ඉරිදා සිළුමිණ පුන්කලසින්.

 

 

කලා නිර්මාණ සර්වකාලීන වන්නේ කෙසේද? කලාකරුවන් අර්චන වස්‌තූන් (Fetish) ලෙස පිදීමෙන් පමණක්‌ එය එසේ නොවන බව මම අදහමි. එවිට සර්වකාලීන යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ කුමක්‌ දැයි අප ප්‍රශ්න කළ යුතුව ඇත.

සර්වකාලීන යන යෙදුම ග්‍රීක සාහිත්‍යය විෂයෙහි හැම විටම අර්ථවත් පැතිකඩක්‌ නිරාවරණය කරයි. ටෙරි ඊගල්ටන් (ඔහු මාක්‌ස්‌වාදී සාහිත්‍ය විචාරකයෙකි.) ඔහුගේ Literary Theory නම් වියමෙනෙහි ලා එළිදරව් කරන පරිදි කාල්මාක්‌ස්‌ පවා පුරාතන ග්‍රීක සාහිත්‍ය සදාකාලික ආකර්ශනයක්‌ රඳවා ගෙන තිබීම ප්‍රශ්න කළේය. ග්‍රීක සාහිත්‍යය නිර්මාණය වූ සමාජ පසුබිම දැන් කොහේවත් නැත. එහෙත් අවසන් නොකළ ඉතිහාසයක්‌ තුළ තව දුරටත් එය සදාතනික නොවේද යන්න අපට කිව නොහැක.

එහෙත් හෝමර් හෝ ශේක්‌ෂ්පියර් එලෙස සදාතනික වීමේ රහස ඊගල්ටන් එළිදරව් කර ඇත. ඔහුට අනුව අප අද හෝමර් යෑයි කියන්නේ මධ්‍ය කාලීන යුගයේ සිටි හෝමර් කෙනකු නොවේය. එහෙම නැත්නම් අපට ශේක්‌ෂ්පියර් ඔහුගේ සමකාලීනයන් කියවූ ශේක්‌ෂ්පියර්ම නොවේ ය. විවිධ වූ ඓතිහාසික යුගවල ඒ යුගයට ගැලපෙන පරිදි වෙනස්‌ වූ හෝමර් සහ ශේක්‌ෂ්පියර් කෙනකු ගොඩනැඟීමෙන් ඔවුන්ගේ නිර්මාණ තුළ සාහිත්‍ය වටිනාකමේ තිබෙන නොතිබෙන බව තීරණය කර ඇතැයි ඊගල්ටන් අදහයි.

ටෙර් ඊගල්ටන්ට අනුව සියලු සාහිත්‍යය නිර්මාණ විවිධ වකවානුවල සමාජයීය කියවීම් පරිදි යළි ලියනු ලැබ (re-written) ඇත. සැබවින්ම යම් කෘතියක්‌ යළි ලිවීමකින් තොරව කෙරෙන කියවීමක්‌ නැත. එහෙයින් විචාරයෝ යථාර්ථවාදී ගුරුකුල දෘෂ්ටිය විසින් සම්ප්‍රදායික ඊනියා සම්භාව්‍ය ලේඛකයකු බවට පත්කර සිටින සරච්චන්ද්‍ර පිළිබඳ වෙනස්‌ වූ තාර්කික කියවීම් විලාසිතාවක්‌ අවශ්‍ය කර තිබේ. එබඳු කියවීමකට මම මෙහි ලා යම් ප්‍රවේශයක්‌ ගනිමි. එක්‌තරා ආකාරයකින් එය රස්‌තියාදුකාර කියවීමක්‌ තමයි.

යථාර්ථවාදී ගුරුකුල දෘෂ්ටිය මනෝ විශ්ලේෂණය විචාර පිළිවෙතක්‌ සේ පිළිනොගනී. එහෙත් සරච්චන්ද්‍රයනගේa "මළගිය ඇත්තෝ" සහ "මළවුන්ගේ අවුරුදු දා" නවකතා ද්වය මනෝ විශ්ලේෂණය කියවීමකදී ඒවායින් නව අරුත් මතු වෙතැයි මට පෙනී ගොස්‌ ඇත. ඇත්ත, මනෝ විශ්ලේෂණය නවකතා විචාරයේ පිළිගත් මූලිකාංග හිංසනයට ලක්‌ කිරීමක්‌ ලෙස යම් විචාරකයකු චෝදනා කළහොත් මම පුදුම නොවෙමි. එහෙත් ඔබ පුදුම විය යුතු දේ නම් මනෝ විශ්ලේෂණය අපරට තුළ නවකතා විචාරය සඳහා මුල්වරට භාවිත කර ඇත්තේ මාර්ටින් වික්‍රමසිංහ වීම ගැනය.

මාර්ටින් වික්‍රමසිංහ සිංහල නවකතව සහ ජපන් කාමකතා හෙවණැල්ල ලියූවේ පේරාදෙණියට බැට දීමට වුවත් ඔහු සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා ඇතුළු පේරාදෙණි නවකතාවල එන චරිත මගින් විදාරණය වන මනෝ විශ්ලේෂණය පැතිකඩ විචාරණය කරයි. එහෙත් වික්‍රමසිංහ අතිශය සාහසික ලෙස එම චරිත තුළ විදාරණය වන විපරිත් බව (Perversions) ඒවාහි නිර්මාණ කරුවන් මත අලවයි. නවකතාකරුවාගේ අවිඥානය කියෑවීමට නවකතාව වැඩබිමක්‌ නොවෙතැයි මම නොකියමි. එහෙත් වික්‍රමසිංහ ගැඹුරු මනෝ විශ්ලේෂණය කියවීමකට යැම ට තිබූ අවස්‌ථාව අහිමි කර ගනිමින් සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා යන නවකතාවල එන චරිතයන්ගේ ලිංගික හැසිරීම් විකෘති කාමාශාවන් ලෙස හංවඩු ගසයි.

මාර්ටින් වික්‍රමසිංහ සිංහල නවකතා සහ ජපන් කාමකතා සෙවණැල්ල ලියමින් මළගිය ඇත්තෝ නවකතාවේ කතා නායකයා වූ දෙවෙන්දොරා සංගේ අතීත විස්‌තරය එහි නොමැති වීම පිළිබඳ ප්‍රශ්න කර ඇත. එම තොරතුරු නොමැතිකම නිසා දෙවෙන්දොරා සංගේ වර්තමාන පැවැත්ම සකස්‌ කිරීමට ඉවහල් වූ අතීතය කවරාකාර වී දැයි පැහැදිලි නැති බව වික්‍රමසිංහ කියයි. ඉන් චරිත සහ සිදුවීම් පිළිබඳ සියලු විස්‌තර සැපයීමේ කොන්දේසියට යටත් වූ කතුවර ආධිපත්‍යයක්‌ නවකතාවේ නොතිබීම දුර්වල කමක්‌ ලෙස දැකීම යථාර්ථවාදී ගුරුකුල විචාරයට අනුගතය. මළගිය ඇත්තෝ යථාර්ථවාදී කලාත්මක නවකතාවක්‌ ලෙස පරිසමාප්තියට පත් නොවන්නේ එහි දෙවෙන්දොරාසං පිළිබඳ එකී තොරතුරු නොවීම නිසා යෑයි වික්‍රමසිංහ අපට ඉඟි කරයි.

එහෙත් සරච්චන්ද්‍රගේ මළගිය ඇත්තෝ නවකතාවේ කලාත්මක බව තීව්‍ර කරන ලක්‌ෂණය වන්නේම දෙවෙන්දොරා සංගේ අතීතය රික්‌තමය (Void) අවකාශයක රහෝ ගතව තිබීමය. මළගිය ඇත්තෝ නවකතාව පටන් ගන්නේම දෙවෙන්දොරා සං ජපානයට පැමිණි තැනිනි. තමාගේ ළමා විය පිළිබඳ ඔහු පවසන්නේ එකම වාක්‍යයකි.

"කුඩා කල සිට මහණව පන්සලක විසූ මට ප්‍රංශ සිත්තරුවන්ගේ කලාව හැදැරීමට අවස්‌ථාවක්‌ ලැබුණු බව මතක නැත."

මළගිය ඇත්තෝ නවකතාව ලියෑවෙන්නේම දෙවෙන්දොරා සංගේ ළමාවිය පිළිබඳ රික්‌තමය බව වටාය. එම නිසා නවකථාවේ යථාර්ථවාදී බව හුදු පරිකල්පනයක්‌ පමණක්‌ බවක්‌ එකී පරිකල්පනයම යථාර්ථය බවත් අවසනැ අපට වටහා ගැනීමට හැකිවේ.

කලා කෘතිවල මෙම රික්‌තමය බව පිළිබඳ අපූර්ව උදාහරණයක්‌ නම් සුප්‍රසිද්ධ වීනස්‌ ප්‍රතිමාවයි. එකී ප්‍රතිමාවේ අංග ඡේදනය වී තිබීම නිසාම එහි කලාත්මක බව තීව්‍ර කරයි. කොටින්ම කියතොත් වීනස්‌ ප්‍රතිමාවේ කලාත්මක බව ඇත්තේ එහි අංග ඡේදනය තුළමය. මෙබඳු තවත් උදාහරණයක්‌ නම් "වදරින් හයිට්‌ස්‌" (Wuthering
Heights) නව කතාවේ චරිතයක්‌ වූ හිත් කලිµaය. එම නවකතාව ගොඩ නැගෙන මධ්‍ය රික්‌තය නම් හිත් කලිµaa වදරින් හයිට්‌ස්‌ මන්දිරයෙන් අතුරුදන්ව සිට ධනවතකු ලෙස ආපසු පැමිණීම අතර ඇති පරතරයයි. එම කාලය තුළ ඔහු කුමක්‌ කරමින් සිටියේ දැයි අප නොදනිමු. එහෙත් සමස්‌ත නවකතාවම එකී නොදැනීම (රික්‌තය) වටකොට ගනිමින් වියෙන්නකි.

මළගිය ඇත්තෝ නවකතාවේ මේ රික්‌තමය බව කලාත්මක සාධකයක්‌ වන සැටි පිළිවිසීම පිණිස මම එහි මනෝ විශ්ලේෂණය අන්තර් විනිවිදිම ග්‍රහණය කර ගැනීමට තැත්කරමි. ඇත්ත. මළගිය ඇත්තෝ වූ කලී ප්‍රේමය ප්‍රස්‌තුත කොටගත් නවකතාවකි. නවකතාවේ ආරම්භක ඡේදයට කථකයාගේ ඉච්ඡා භංගත්වය පිළිබඳ ඉඟියක්‌ අපට සපයයි. පුරුෂයකුගේ ආශාව හඹායැම තුළ ඇති සුඛ වේදනාව නැතහොත් ප්‍රමෝදය කවරාකාරදැයි ඉන් නිරූපණය වේ. ඒ වූ කලී ආශාව (desire) සන්තර්පණය කර ගනු වස්‌ ආදේශක (substitutes) පසු පස හඹාගිය වෙහෙසට පත් පුරුෂයකුගේ මරණ සහජාශය සමග පැටලුන සුඛ වේදනාවයි.

"මා මේ වෘත්තාන්තය ලියන්නට පටන් ගත්තේ එහි කියවෙන දේ සිදු වී අවුරුද්දක්‌ පමණ ගත වූ පසුව. මේ කථනය කිසියම් කෙළවරකට පමුණුවා අවසාන කළ යුතුය. එහෙත් සිදු වූ දේ නම් එවැනි කෙළවරකට පැමිණ නැත. ඇතැම් විට කවදාහරි මෙහි දෙවන කොටස ලියන්නට මට ඉඩ ලැබෙන්නට පුළුවන. එහෙත් අනාගතයෙහි කියයුතු දෙයක්‌ සිදුවේ දැයි මම නො දනිමි. නොරිකෝ මළාය කියා මේ කථාව අවසන්කරන්නට තිබිණි. එවිට මෙයට කරුණා රසයෙන් පරි නිබන්ධනයක්‌ යෑයි ඔබ කියනු නිසැකය. එහෙත් නොරිකෝ තවමත් ජීවත්ව සිටී. මම ද ජීවිතයේ අග්ගිස්‌සේ ඒ මේ අත වැනෙමින් සිටිමි. කතාවක්‌ නම් පිරිපුන් රටාවකින් යුතුව ගොතා හමාර කළ හැකිය. එහෙත් ජීවිතය වියා හමාර කළ නොහැකි ව, එතැනින් මෙතැනින් එල්ලෙන පන් ඉරුවලින් හැඩි වූ මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමාන ය. මිනිසුන් මරණය පතන විලසින් එවුන් වෙත මරණය නො පැමිණේ. ඔවුහූ දීර්ඝ කාලයක්‌ දුක්‌ විඳිමින් ජීවත් වෙති."මළගිය ඇත්තෝ

මෙහි මරණය ගැන සඳහනක්‌ ඇත. ඇත්තටම නම් නොරිකෝගේ දෘෂ්ටි කෝණයෙන් ලියෑවෙන මෙහි දෙවන කොටස වූ මළවුන්ගේ අවුරුදු දා හි දී දෙවොන්දරා සං සියදිවි නසා ගනී. මරණ සාහජාංශය (death drive) නම් වූ ෙµ්‍රdයිඩියානු සංකල්පයෙන් කියෑවෙන්නේ දේවල් විනාශ කිරීම සහ සබඳතා බිඳ දැමීම දක්‌වා වූ ආපසු යැමේ අධ්‍යාශයයි. පසු කලෙක ලැකාන් මරණ සහජාශය යනුවෙන් විස්‌තර කරන්නේ අහිමි වූ සංගත බව (harmony) පිළිබඳ අතීත කාමයක්‌ (nostalgia) ලෙසය. ඒ වූ කලී මවගේ පියවුරු සමග පූර්ව ඊඩ්පස්‌ සම්පර්කයකට (fasion) ආපසු යැමේ ආශාවකි. තව දුරටත් ලැකාන් මරණ සහජාශය ආත්ම රාගි සියදිවි නසා ගැනීමේ ප්‍රවනතාවක්‌ වෙත තල්ලු කරයි.

නවකතාකරුවා දෙවෙන්දොරා සංගේ අතීතය පිළිබඳ විස්‌තරයක්‌ අපට නො සපයන මුත් මරණය පිළිබඳ ඔහුගේ මනස්‌ගාත (fantasy) සහ අස්‌ථාවර පැවැත්ම තම ළමාවිය පිළිබඳ මනොවිශ්ලේෂණීය කියෑවීමකට අප යොමු කරයි. ආශාව (desire) බෙහෙවින්ම සම්බන්ධ වන්නේ ආතෘප්තියටයි. අප දේවල්වලට ආශා කරන්නේ ඒවා අප වෙත නොවන බැවිනි. ආශාව නොනැසී තබා ගැනීමට නම් ඒවා තෘප්තිමත් නොකොට තබා ගැනීමට විෂයයාට (subject) අවශ්‍ය වේ.

දෙවෙන්දොරා සං ඉන්දියාව, එංගලන්තය, ඔස්‌ට්‌්‍රයාව, ප්‍රංශය යනාදි රටවල කරක්‌ ගසා ජපානය තුළ ස්‌ථාවර වූ බවක්‌ නවකතාකරුවා අපට හඟවයි. අන්කිසි රටෙක දක්‌නට නැති සෞන්දර්යක්‌ දෙවෙන්දොරා සං ජපන් ජන පැවත්ම තුළ දකී.

ඔහුට අවශ්‍ය තමාට දුරස්‌ථ වූ ජපාන සමාජයට අනන්‍ය වීමය. එහි දී ඔහුට තමාට ආදර්ශයක්‌ සේ ගතහැකි ඇඟවුම්කාරයක්‌ (signifier) හමුවේ. සංකේතීය පිළිවෙළ තුළ ඔහු මෙහෙයවනු ලබන්නේ එකී අහමාදර්ශය (ego ideal) විසිනි. එය වූ කලී ද්වීතියක වූ අනන්‍යතාවක්‌ (sccondary identification) පිළිබඳ සමප්‍රේක්‌ෂණය කිරීමකි. විෂයයා (subject = දෙවෙන්දොරා සං ) ප්‍රාථමිකව අනන්‍යවන වස්‌තුව නම් මවයි. පරිකල්පනිය ලෙස මවගේ සිරුර සමග අනන්‍ය වේ. නැතතොත් තම අහම (eටද) ගොඩනැගීමේ කාර්යය අරඹයි. ඔහු දැන් වැඩිහිටි පිරිමියකු ලෙස සංකේතීය පැවැත්ම තුළට අනන්‍යවීමට අහමාදර්ශයක්‌ නිර්මාණය කරගනී.

මාර්ටින් වික්‍රමසිංහ මළගිය ඇන්තෝ හි දෙවෙන්දොරා සංගේ අතීතය විස්‌තර කර නැතැයි මුසුප්පු වෙයි. එවිටම සිවුරළු සිත්තරා කාමයේ ගැලුනෙකැයි දෙස්‌ තබයි. එහෙත් මේ විපරිත චරිත ලක්‍ෂණ දිගේ ගොස්‌ ඔහුගේ මුල් අවධිය කියෑවිය හැකි බව වික්‍රමසිංහයෝ දැන නොසිටියහ. දෙවොන්දරාසං සිවුරළුවකු වීමත් තම උපන් රට අතහැර දේශ දේශාන්තරයන්හි යමින් අස්‌ථාවර වූ ජීවිතයක්‌ ගෙවීමත් අප වටහා ගත යුත්තේ කෙලෙස ද? ස්‌ත්‍රීන් කෙරේ වන ඔහුගේ ප්‍රේමයේ විපරිත ලක්‍ෂණවල මුල් ඇදුනේ කොතැනද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයෙන්නේ සරච්චන්ද්‍රයන්ගේ යථාර්ථවාදී ආඛ්‍යාන රීතිය විනිවිද දැකීමෙන් පමණකි. එනම් ඔහු ලියන දේ එසේ ම කොට නො ගැනීමෙනි. ඔහු ලියූ හැම වැකියක්‌ ම නැවත ලිවීමෙනි. බාගවිට අප එහි දී මළගිය ඇත්තෝ නැවත ලියන්නෙමු.

මෙහි දී සඳහන් කළ යුතු දේ නම් මෙබඳු මනෝ විශ්ලේෂණය කියෑවීමකදී අප කලාකෘතියේ දාර්ශනික සහ දේශපාලනික වැදගත්කම මැන බලන බවය. දාර්ශනික අර්ථකථන වේදියකු සේ සැලකෙන හෑන්ස්‌ ගැඩමර් ප්‍රකාශ කළේ අන් කිසිදු ආකාරයකින් ළඟා කර ගත නොහැකි සත්‍යයක්‌ කලා කෘතිය තුළින් අත්විඳින්නට ලැබීම කලාවේ ඇති දාර්ශනකික වැදගත් කම තහවුරු කරන බවය. මහැදුරු සරච්චන්ද්‍ර ශ්‍රේෂ්ඨ ලේඛකයකු වන්නේ එම සත්‍යය ගවේෂණය කිරීම තුළ පමණකි.


ප්‍රසිද්ධ විචාරකයෙක් වන සමන් වික්‍රමාරච්චි විසින් දිවයින පුවත් පත වෙනුවෙන් කරන ලද විචාර ලිපියක්..


 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

32.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka